Get Adobe Flash player
අප දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වෙමින් දිස්ත්‍රික්ක දෙක තුල මහේස්ත්‍රාත් අධිකරණයකට යාබදව ස්ථාපනය කරන ලද පරිවාස කාර්යාල 09කි.එම පරිවාස කාර්යාල 09 කුරුණෑගල,කුලියාපිටිය,මහව,වාරියපොළ,ගල්ගමුව,නිකවැරටිය,මාරවිල,හලාවත හා පුත්තලම යන නගරවල පිහිටා ඇත.එම පරිවාස කාර්යාල සියල්ලෙහිම සේවයෙහි නියුතු කාර්යමණ්ඩලය තම වටිනා සේවය දරුවන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන් නොඅඩුව ලබා දෙයි.

එසේම, දෙපාර්තමේන්තුව සතුව රජයේ භාරගැනීමේ ළමානිවාසයක්,රැඳවුම් ළමානිවාසයක්,ලියාපදිංචි ළමා නිවාස 40ක් හා ලියාපදිංචි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 219ක් පවතී.

රජයේ භාරගැනීමේ ළමා නිවාසය

වයස අවු 05ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා මීගලෑව අමිල සෙවන ළමා නිවාසය, දෙපාර්තමේන්තුව සතු රජයේ භාරගැනීමේ ළමානිවාසය ලෙස ක්‍රියාත්මක වේ. මෙම දරුවන් බොහෝ විට තම දෙමාපියන් විසින් මහමඟ සහ රෝහල් වල දමා ගිය දරුවන් හෝ ඉතා දිළිඳු තත්වයේ සිටින පවුල් වල දරුවන් වේ.

රැඳවුම් ළමා නිවාසය

කුලියාපිටිය පරිවාස කාර්යාල පරිශ්‍රයේ පිහිටා තිබෙන මීගහකොටුව ළමා නිවාසය, ගැහැණු දරුවන්ගේ රැඳවුම් ළමා නිවාසය ලෙස ක්‍රියාත්මක වේ. නිත්‍යානුකුල භාරය යටතේ තැබිය යුතු, අධිකරණය මඟින් රැඳවුම් නිවාසයක තැබීමට තීරණය වූ හා නැවත අධිකරණ තීරණයක් ලැබෙන තුරු රඳවා තබා ගැනීමට නියම වූ දරුවන් මෙහි රඳවා තබා ගැනේ. මෙම නේවාසික දරුවන්ගේ ජිවන තත්වයන් ඔප්නැංවීමෙහිලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒවායින් අධ්‍යාපනික වැඩසටහන්,වෘත්තීය පුහුණු වැඩසටහන් හා ආගමික වැඩසටහන් ප්‍රධාන වේ.

ළමා නිවාස

රජයේ භාරගැනීමේ ළමා නිවාසය හා රැඳවුම් ළමා නිවාසය හැරුණු විට දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන මඟින් පවත්වාගෙන යන ළමා නිවාස ගණන 40කි. දෙපාර්තමේන්තුව විසින් මෙම ළමා නිවාස අධීක්ෂණය,මුල්‍යාධාර ලබා දීම වැනි කටයුතු සිදු කරයි. ස්වේච්ඡා සංවිධාන මඟින් මෙම ළමා නිවාස පවත්වාගෙන යනු ලැබුවද දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඊට දරුවන් භාරගැනීම සිදුකල නොහැක.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

අප දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගණන 219කි. ස්වේච්ඡා සංවිධාන මඟින් පවත්වාගෙන යනු ලබන මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල මුලික අරමුණ වන්නේ දිවා කාලයේදී රැකියා සඳහා පිටත්ව යන මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීමයි.