Get Adobe Flash player

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත්තේ 1944/අංක 22 දරන වරදකරුවන් පරිවාස භාරයේ තබා ගැනීමේ ආඥා පනත යටතේය. පරිවාස ආඥා පනතේ මුලිකම අපේක්ෂාව වරදකරුවෙකු නේවාසික රැකවරණයෙන් බාහිරව පුනරුත්ථාපනයයි.ශ්‍රී ලංකාවෙහි පරිවාස සේවාව ආරම්භ වනුයේ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව 1945 මාර්තු 12 වන දිනය.ඒ කොළඹ , මහනුවර, ගාල්ල, කළුතර යන අධිකරණ බල ප්‍රදේශයනට නිලධාරීන් දස දෙනෙකු පත් කරමිනි.ඉන් පසුව 1956 ඔක්තෝබර් මස 01 දින ළමා ආරක්ෂක,සුභ සාධන දෙපාර්තමේන්තුව ලෙස වෙනම දෙපාර්තමේන්තුවක් ආරම්භ වූ අතර පරිවාස සේවාවද ඒකාබද්ධ කොට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ විය. මේ අයුරින් ආරම්භ වූ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව 1988 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා මධ්‍යම රජයේ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය විය. එම සංශෝධනයෙන් පසු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර වර්තමානයේ පළාත් කොමසාරිස්වරයෙකුගේ පරිපාලනය යටතේ ක්‍රියාත්මකය.වරදකරුවන් පුනරුත්තාපනයට ආරම්භ වූ මෙම දෙපාර්තමේන්තුව, නිතිය හා ගැටුණු ළමුන් හා අනාත අසරණ, අත්හල දරුවන් හා භාරය රැකවරණය අවශ්‍ය ළමුන් පිළිබඳව කටයුතු කරනු ලබන ප්‍රමුඛතම ආයතනය ලෙස වර්තමානයේ සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලබයි.


ප්‍රධාන කාර්යයන්

 

  • දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන බාලවරදකරුවන්ගේ චරිතය හැඩගස්වා පුනරුත්ථාපනය හා නැවත සමාජ ගත කිරීම
  • දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් වශයෙන් සැලකෙන දෙයක් නොකලත් දෙමාපියන්ට අවනත නොවන, සමාජ විරෝධී ක්‍රියා සිදු කරන, පාලනාතික්‍රන්ත දරුවන් යහමඟට ගැනීම
  • අනාථ,අත්හල,අසරණ හා අපයෝජනයන්ට ගොදුරු වූ දරුවන් රැකබලා ගැනීම
  • පරිවාස ක්‍රියාමාර්ගයන්ට යටත්වුවන්ගේ පසු අධීක්ෂණය
  • ළමා සුභසාධන සේවයේ යෙදී සිටින ස්වේච්ඡා සංවිධාන හා ආයතන සම්බන්ධව විමර්ශනය, අධීක්ෂණය, ලියාපදිංචිය හා ආධාර සැපයීම
  • ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා ළමා අයිතීන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • නිත්‍යානුකුලව දරුවන් හදාවඩා ගැනීම සඳහා ලබා දීම
  • නේවාසික රැකවරණය වෙනුවට විකල්ප රැකවරණ ක්‍රම ක්‍රියාත්මක කිරීම
  • දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් සඳහා සහන සැලසීම
  • ළමා අයිතිවාසිකම් පිලිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වේදසටහන් පැවැත්වීම
  • ළමා නිවාස යටිතල පහසුකම් සංවර්ධනය
  • නේවාසික දරුවන්ගේ රැකවරණය හා පෝෂණ තත්වයන් නඟා සිටුවීම
  • ආයතන ගත දරුවන්ගේ හැකියා වර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දීම
  • ආයතනගත දරුවන් සඳහා ආගමික හා සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ළමා නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවන් සඳහා වාර්ෂික විනෝද චාරිකා සංවිධානය කිරීම
  • උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ළමා නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ඉදිකිරීම් හා අලුත්වැඩියාවන් සඳහා ආධාර ලබා දීම
  • හදිසි ආපදා කළමනාකරණ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම
  • රජයේ භාරගැනීමේ ළමා නිවාසයේ බාහිර හා අභ්‍යන්තර පරිසරය සංවර්ධනය කිරීම
  • දෙපාර්තමේන්තුවට අයත් සියලු පරිවාස කාර්යාල සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා කාර්යමණ්ඩල පහසුකම් ලබා දීම
  • දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පුහුණුව හා සංවර්ධනය